පොෂ් හීන
ටීවි එකේ දාන තැනක ගිහිිල්ල කන්න
කොණ්ඩෙ ටිකක් වෙනස් කරල හැඩට අදින්න
බීච් එකක පාක් එකක විනෝද වෙන්න
අප ආසයි අපි පොෂ් වෙන හීන දකින්න
කේ එෆ් සී ගිහිල්ලා කන්නට කෑම
මැක්ඩොනල්ඞ් එකෙන් ඕඩර් කරලා ගන්න
බර්ත් ඬේ වලට හැම් බර්ගර් දෙන්න
සල්ලි තියන කොට පොෂ් විදියට කන්න
කෑලි කෑලි කැපූ කොණ්ඩෙ කෙලින් කර
පැත්තට වෙන්න තඹ පාටින් පාට කර
ඔඩෙල් ෆැෂන් බග් කඩවල ෂොපින් කර
ෆැෂන් කරනවා හොද ජොබ් එකක් කර
දියතු උයනෙ චුට්ටක් ඇවිදින්න යමු
බීච් එකේ ඇනිවසරිය සෙට් කරමු
සෙල්ෆි ටිකක් ගහලා එෆ් බී දාමු
පෝසත් වෙලා ඇති වෙකනම් සතුටු වෙමු
ඇදිවත් පවා නැති උන් ලොව ඉන්නවද
කෑමට බත් පිඩක් නැති උන් තව ඇද්ද
සිනහව දකින්නට උන් පිං කර නැද්ද
ටික දෙනෙක්ගෙ හීන මොකට පොෂ් වෙත්ද
ෆීලිං හැපී
විටක තෝට්ෆුල් ෆීලිං හැපී වෙතී
තවත් විටක ෆීලිං අප්සට් දැනෙතී
හිතට දැනෙන හැගුම් වලට නම් දමතී
ෆීල් වන සැණින් සෙනිකව ටැග් කරතී
කොහෙද ඔයාගේ ගම පොඩි නංගියා
ඔයා කැමති මොන ජොබ් එකටද අයියා
ෆොටෝ එකක් එවන්නකෝ කිය කියා
අයියල නංගිලා මගුලක් ගනී හොයා
අම්ම අප්ප හොදට හැදූ මූණ කට
උල් කරගෙන ඇද කරගෙන විකාරෙට
ඇගිලි දෙකක් දික් කරගෙන උඩ අතට
රූප මවයි මුළු පිටුවක් පුරාවට
හරි ලස්සනයි අක්කි ඔයා ඩේරස් එකට
පට්ට මැචින් කපල් එකට ඉන්න කොට
වාව් මාවලස් ඇක්ෂන් දානකොට
ඉවසුම් නෑ අලුත් කමෙන්ට්ස් දැනගන්ට
හිත නිදහස් වෙන්න පන්සල් පල්ලි යව
මගුලක් ඕනෙ නම් කපුවෙක් හොයාගෙන
ලස්සන මූණ කටවල් ඇද නොකර ඉද
දැනුම ඕනෙ නම් පොත්පත් කියෝපිය
ආලවන්ත කොල්ලෝ
ලස්සන හිත ගස්සන අය දැක්කාම
ලස්සන සිනිදු කළු කෙස් රැලි වැදුනාම
වටොර ඉග නිතඹ දෙස ඇස් නොහෙලාම
රූපය රස විදී එක කොල්ලෙක් එහෙම
වෙඩරු පිඩක් මෙන් හදවත උණු වෙනවා
අඩ අඩ හොටු පෙරාගෙන පස්සෙන් යනවා
මට වෙන කවුරුවත් නැති බව පෙන්වනවා
මම හරි සෙන්සිටිව් කොල්ලෙක් අගවනවා
කිසි වග තුගක් සතේට මායිම් නොකර
සෙට් වෙන කෙල්ල වචනෙට කරගෙන සොදුර
එක ලව් එකක් ඇත්තේ සතියට විතර
කොල්ලෙක් ඉන්නවා හරි සෙල්ලක්කාර
ලස්සන කැත මොකට මට වෙනසක් ඕනෑ
පරම්පරාවම ගොඩ යන්නට ඕනෑ
සිත ගත පිරෙන්නට දෑවැද්දක් ඕනෑ
කොල්ලෙක් හිදී හොද බර අත්තක් ඕනෑ
කිසි දවසක කොල්ලෙක් දෙස නොබලාපු
කනට ඇසෙන්නට වදනක් නොදොඩාපු
කිටි කිටියට කොටට ඇදුම් නොම ඇදපු
කොල්ලෙක් හොයයි කෙල්ලෙක් මලකින් ආපු
සිල්වත්
බෝ සෙවණේ සෙළවෙන කොට බෝපත්
නොකිලිටි සුදුවත් ඇදගෙන තැම්පත්
කුසල් ලබාගෙන වෙන්නට සිල්වත්
හැම දවසෙම පන්සල් යති පිංවත්
පුතේ ගෙදර වැඩිහිටියෙක් ඇති නේද
කැම්පස් ගියත් රස්සාවක් නෑ නේද
දැං බදින්න කොල්ලෙක්වත් ඉන්නවද
ඕකට නොගියනං දැනටම ගොඩ නේද
තව ඩිංගක් ලොකු කරන්න කඩනව අපෙ විහාරගේ
පිනක් දමක් කොරගන්නට ඕනෑ නෙව මේ කාලේ
මයෙ කනකර ආයිත්තම් පිනට දෙන්න උගස් කොලේ
නංගිලාගෙ කාසි පණම් පිනට ගන්න මං ආවේ
අනෙ අම්මප මුන්දලාගෙ තියන පව
පිිං කරගන්ට ඇති ගාණක් දෙන්නැතුව
පන් සීයක් දික් කරගෙන එනව තව
දෙවියන් බලා ගන්නව ඇති මේකුන්ව
රන් වන් පාටින් දළුලයි බෝධිය
මා පිං කර ඇත මට නැත ලෝදිය
මං තරමින් පිං කර නැති උදවිය
පව් වැඩි තරමට දිවියම කාපිය
ගෑනු අපිට
සුදු පුතාට නිල් පාටයි දෝණිට මේ රෝස පාට
මගෙ පුතාට මෙන්න කාර් දෝණි ආස බෝණික්කට
පුතා අඩන්නේ මොකටද ඒව උරුම දෝණිලාට
එපා එපා දග කරන්න රිදෙයි පුංචි මගෙ දෝණිට
ගස් නගින්න එපා දෝණි ඕවා හොද නෑ ඔයාට
ඔය මොකට ද බයිසිකලේ ඕක දෙනව ලොකු අයියට
රවුම් ගහන්නෑ කෙල්ලෝ යනව යන්න ගේ ඇතුළට
ගෑනු දැරිවියක් උනාම ඉන්න ඕන ඒ තාලෙට
ආකාසෙම පියාඹනා කිරිල්ලියක් එපා වෙන්ට
අහළ පහළ සෙනග එක්ක වැඩි භජනෙට නොයා ඉන්ට
භය පක්සව ඉන්ට ඕන තමන්ගේම ස්වාමියට
කතා හැදෙන්නට හොද නෑ දීග ආපු ගෑනියෙකුට
සියල්ලෝම මිනිස්සු වෙති වෙනසක් නෑ බුදු දහමට
ලොව ඉපදුන උත්තමයන් මව් කුසකින් බිහි උනාට
සිරි දළදා හාමුදුරුවො ලංකාවට වැඩමෙව්වට
ගෑනු නිසා පව් සිදුවෙයි නගින්න බෑ උඩ මළුවට
ෆිට් එක
සිංහල රට දෙන්නෙ මොකටද දෙමලුන්ට
එකම රටට තව භාසාවක් මොකට
ඉගැන්විය යුතුයි සිංහල මේකුන්ට
වැඩිය ආවොතින් දෙමු හොම්බෙන් යන්ට
වද පෙති දමා සිංහල වද කරන්නට
උන් වෙති තම්බි යනු හොද නෑ කඬේකට
සිංහල රටට තව එනවද රිංගන්ට
වැඩිය ආවොතින් දෙමු හොම්බෙන් යන්ට
මුත්තයියා මැච් ගහලා දිනනකොට
රුක්මණී ගේ සොදුරු රැගුම් බලනකොට
මොහිදින් බෙග් බුදු ගුණ ගී ගයන කොට
මොකද උනේ දෙමළ තම්බි නම් වලට
ජපන් ඉන්දියන් වාහන සරසාගෙන සිංහ ලෙයින්
අපිට එකක් තොපිට එකක් සගවාගෙන අමුතු ලයින්
රටට සාමෙ හිතට සානෙ පාදාගත නොහැකි හෙයින්
සිහල, දෙමළ, මුස්ලිම් ෆිට් විය යුතුවේ එකම ලෙයින්
මාර ලයින්
අලුත බයික් එකක් ගත්ත කොල්ලන්ගේ
අලුත කසාදයක් බැන්ද කෙල්ලන්ගේ
අලුත් ජොබ් එකක් සෙට් වුන කට්ටියගේ
ලයින් නැගලා බහිනා හැටි හරිම අගේ
බයික් එකක් තියනව මට හරිම ගතී
අඩි දෙක තුනක් ඉහළින් මට යන්ට හැකී
මම වෙමි හැන්ඩි කොල්ලා යැයි සිතා සිටිී
ගහක තාප්පෙක ඇනුනම ලයින් බහී
අලුතින් බැන්දෙ මරු ම`ගුලක් අර ගතිමී
අලුත් නෑයො ගමේ ඈයො බලා සිටී
මම වෙමි අලුත් මනමාලී සිතා සිටී
දෙන්න තුන හතර වෙනකොට ලයින් බහී
මරු ජොබ් එකක් තියනව මට පට්ට පඞී
ගමේ හැච්ච සෙට් එකෙනුත් ඈත් වෙමි
පොෂ් විදියට ඉන්නෙමි මම සිතා සිටී
වැඩ වැඩි වෙලා කොර වෙනකොට ලයින් බහී
ගමේ ඉන්න අහළ පහළ නෑයන්ට
එකට කාලා වැටිලා සිටි මිතුරන්ට
පිහිට වෙන්න ල`ග ඉන්නා ඈයන්ට
අනේ ලයින් පෙන්නන්නේ මොනවාට
මයෙ අම්මගෙ හැටි
අයියගෙ කාමරෙන් කුණු රෙදි පියඹනවා
කුස්සියෙ පි`ගන් බඩු කට කට වෙව්ලනවා
”අම්මප මුන්ට” කුටු කුටු ගා මිමිණෙනවා
අම්මට තරහ ගොස් ඇති බව වැටහෙනවා
ගෙදරට එන අමුත්තෙක් පිළි නොගත් විට
නෑයෙක් යන්න පෙර කෑමක් ලිහූ විට
යන නෑයෙකුට දණ නොනමා නොවැ`දි විට
ලොකු ඇස් දෙකක් එනවා කුස්සියේ සිට
වැඩ වැඩ කියා බුම්මාගෙන ඉන්නවද
කැම්පස් එකට ගොඩ වැදුනාවත් මදිද
ක්ලාස් නැති උනොත් ගෙදරින් යවනවද
අම්මගෙ ඇමතුමෙන් එන්නේ ඔය සද්ද
මොනවා උනත් ඒ මයෙ අම්මගෙ හැටිය
තේරුම් ගත්තෙ ගෙදරින් පිට සිට විටය
සැර වැර කරල හැදුවේ දුර් ගුණ ගතිය
වටහා ගන්ට ගත කල කාලය වැඩිය
ලෝකය ජය ගන්න ඕනෑ තමයි පුතේ
ඒකට කලින් යහපත් විය යුතුව ඇතේ
කෙනෙක් කපා ජය ගැනීම වැඩක් නැතේ
කියු මයෙ අම්මා මතු බුදු වනවා නියතේ
මගේ කවි කම්
කවිකම් බැරිය සො`දුරු කවි පද අමුණන්න
යටි පෙළ අරුත් නැත එහි ගතු කියවන්න
එළි වැට එළි සමය ඇත පොඞ්ඩක් වෙන්න
තුන පහ ලුණු මිරිස් පදමට දා ගන්න
මහ සමාජෙ පොඞ්ඩක් වත් කියවන්න
මටත් ටිකක් පුලුවන් බව දැනගන්න
කමෙන්ට් ලයික් ටික ටිකවත් වැඩිවෙන්න
අනේ යන ගමන් කවියක් කියවන්න
ම`ගුල් හීනය
බෝරිච්චිය දමා ඔසරිය ඇ`ද ගන්න
තුන් තැලි දමා නළලත හැඩ කර ගන්න
ඉර හද කොටා පෝරුවකුත් නග්ගන්න
ආසයි ම`ගුල උඩරට තාලෙට ගන්න
ගෙදර ඉඩ නොමැත ම`ගුලට සෙන`ග එතී
ඉවුම පිහුම බෑ කරදර වැඩක් වෙතී
මේකප් දමා ඩේරස් වෙන්නට සැලොන් යතී
ම`ගුලට බියක් මගෙ ගත සිත වෙලා ගතී
ෆොටෝ ගහන්නට රුපියල් තිස් දහකි
ඒකට කලින් තව රූගත කිරීමකි
ලේටස්ට් ඔසරියට හැත්තෑ පන්දහකි
හැන්දෑ ගවුම මරු ගාණක් වෙන සෙයකි
උඩරට මනාලිය වෙන්නට සිතා සිටී
යටවෙන කාසි රුපියල් ගැන ලෝභ සිතී
හදලා ලොකු කරපු දෙගුරුන් දෙපා වැටී
අත්සන් කරලා පැනලා යමි සිනා සිසී
කෙල්ලෝ
කොණ්ඩෙ කේ‍්‍රල් සුදු අයියෙක් දැක්කාම
හැඩට ඉන්න කලූ කොල්ලෙක් දැක්කාම
බයික් පදින ගති අයියෙක් දැක්කාම
හැරී බලයි කෙල්ලන් ඇස් ගස්සාම
සුදු, කලු, බයික් ඇති අයියල දකින නිතී
කෙල්ලන් කැමති උන් හා භජනයට වෙතී
චොක්ලට්,අයිස් ,මල් කොල්ලන් ගෙන් ලැබෙතී
ආලය නැගෙන විට හදවත කැවෙයි කිතී
කොල්ලන් අතර වීනස් දෙව් දුව වෙන්න
කැපිලා පේන තැනකට විත් ඉදගන්න
ටියුෂන් සර්ගෙන් පොඩි බැල්මක් ගන්න
කෙල්ලන් හදයි හැමවිට එක වී ඉන්න
කරදරයෙදි පොඩි අවුලෙදි දිවෙන සැණේ
ද`ග කෙල්ලන් වෙයි පන්තියේ ඈත කොනේ
වැදගත් යැයි කියන කෙල්ලන් ඇතත් පොතේ
හිත හො`ද කෙල්ලෝ පන්තියෙ අන්තිමයො නොවේ
මා මළ දා
හ`දුනන කෙනෙක් ඇත ඔබ අප සැම දන්නේ
ඔබ අප සියලු දෙන මරු ලෙස හ`දුනන්නේ
කාටත් නොකිය හොර රහසෙම කැ`දවන්නේ
ඇරයුම් ලැබුනහොත් යන්නට සිදු වන්නේ
මා හට යන්න සිදු වන විට ඒ දිනට
සිදු කල යුතු සියලු දේ පවසමි මේ ලෙසට
අනවශ්‍යයි සිතමි ගෞරව මළ ක`දට
අණ බෙර ගසා නොකියනු මළ ගම රටට
නොදිරන දෙයක් පොලිතින් දින ගණන් සතී
සැරසිලි එපා ඉන් සිදුවන්නේ අගතී
නොතනනු තොරණ් ගෑවෙන්නට තරු පන්තී
සුදු කොත් දෙකක් දැම්මොත් හොදටෝම ඇතී
මා ලොව ඉපදුනේ නැකතක් ඇතිව නොවේ
මරු පැමිණියෙත් සුභ මොහොතක් බලා නොවේ
මළගේ වැඩපළට නැකතක් ඇයි ද ලොවේ
නොමැතිව නැකත් සිදු කල මැන කුසල් බලේ